කෘෂි ව්‍යාපාර සඳහා රූපමය මාර්ගෝපදේශ 1-
ඕකිඩ් හෙවත් උඩ වැඩියා
හෙල බසින් උඩවැඩියා නමින් හදුන්වන ඕකිඩ් ඔකිඩේසියේ කුලයට අයත් වේ. ඕකිඩ් පවුලේ සාමාජිකත්වය ගණ 880 ක් යටතේ විශේෂ 29,000 කට අධිකය. දැනට හඳුනාගෙන ඇති විශාලතම සපුෂ්ප ශාක පවුල් වලින්එකක් වන ඕකිඩ් පවුල වර්තමාන කුරුලු විශේෂ මෙන් දෙගුණයක්, සහ පෘථිවිය මත ක්ෂීරපායී විශේෂ මෙන් සිවු ගුණයක් විශාල බව හඳුනාගෙන ඇත. ඔකිඩේසියේ උඩවැඩියා පවුල, දැනට පිළිගත් සපුෂ්ප ශාක වල දෙවන විශාලතම පවුල වේ. උඩවැඩියා පවුල ට බුල්බෝපිලම් (Bulbophyllum) විශේෂ 2000 ක්, එෆිඩෙන්ඩ්රම් ( Epidendrum ) විශේෂ 1500 ක් , ඩෙන්ඩේරාබියම් (Dendrobium) විශේෂ 1400 ක් සහ ප්ලුරෝතාලිස් (Pleurothallis) විශේෂ 1000 ක් අයත්වේ.
උඩවැඩියා පවුලේ මල් බොහෝ විට වර්ණවත්ය. සමහරක් සුවඳින් ද යුක්තය. ඕකිඩ් යනු වර්ෂා වනාන්තරවල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ සාමාන්‍ය ගෙමිදුලකත් විශේෂ හරිතාගාර ආවරණයන් තුළත්, වගාකල හැක.ඕකිඩ් උණුසුම් නිවර්තන වනාන්තර කළාප ,උතුරු ඇමරිකාවේ සීතල දේශගුණික කළාප, ඇන්ටාක්ටික් මහද්වීපය හැරුණු කොට සියලූම මහද්වීප තුල දක්නට ලැබේ. ඕකිඩ් වර්ග බහුතරයක් නිවර්තන කලාපීය රටවල හා මධ්යම හා දකුණු ඇමෙරිකාව, මෙක්සිකෝව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, දකුණු චීනය, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, නව ගිනියාව හා ඕස්ට්රේලියාවේ උණුසුම් තෙත් වනාන්තර තුළ ස්වාභාවිකව වැවේ. සමහර උඩවැඩියා විශේෂ පමණක් ලෝකයේ ඇතැම් කලාප වල හැර වෙන කොහේවත් නැත, උදාහරණයක් ලෙස,වැන්ඩා කුලය අග්නිදිග ආසියාවේ වනාන්තර වල පමණක් දක්නට ලැබේ. බ්රසීලයේ කැට්ලියාස් cattleyas, මෙක්සිකානු ලීලියාස් laelias සහ ඉන්දීය ඩෙන්ඩේරාබියම් dendrobiums, සිම්බීඩියම් cymbidiums හා වැන්ඩාස් vandas ලෝකයේ නවීන උඩවැඩියා කර්මාන්තයේ මුල් තැන උසුලයි.
ඔකිඩේසියේ කුලයට අයත් පැලෑටි ඒක බීජ පත්‍රී බහුවාර්ෂික ශාක විශේෂයකි. මේ හැරුණු විට මාංසල පත්‍රද, කඳ ඝණ වූ පර්වවලින් යුතු ව්‍යාජ බල්බවලින් යුතුවීමද ඔකිඩේසියේ කුලයට අයත් ශාකවල විශේෂත්වයකි. ඉතාම කුඩා ප්‍රමාණයේ මිනි ඕකීඩ් වල සිට අඟල් 20 – 30 පමණ දක්‌වා විශාලව දිගට පිපෙන ඕකීඩ් මල්, කැපූ මල් කර්මාන්තයේදී සුවිශේෂ තැනක් හිමිකරගෙන ඇත්තේ එහි ඇති සුවිශේෂ අලංකාර හැඩය හා වර්ණය මෙන්ම දිගුකලක් ජීව ගුණයෙන් ද නොමැළවී තබා ගැනීමට හැකි වීමත් නිසාය.
උඩවැඩියා විවිධ සත්ත්ව රූප හැඩ වලින් යුතුය. පරෙවි මල් , තාරා මල් , කරාබු මල් , යක්මල් , ශ්‍රී ලංකාව තුල තිබෙන නිදර්ශනයන්ය. අප රටේ ඕකීඩ් මල් විශේෂ 169 ක් හමු වන අතර ඉන් 73 ක් ම අප රටටම ආවේණික ය. ගුරුළුරාජ ( Fox Tail Orchid ) හා වෙසක් මල් දේශීය සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩවැඩියා අතර වෙති. මේවා ආරක්ෂිත පැළෑටි විශේෂයන් ලෙස ද නම් කර ඇත.
උඩවැඩියා වර්ග
ඕකිඩ් වර්ගීකරන ධුරාවලිය
ශාක සත්ව ලෝකයේ සියළු ශාක අයත් වන ප්ලාන්ටේ රාජ්යයෙහි මැග්නොලියොප්ටා වසම තුළ ලිලියොප්සිඩා පන්තියේ ඇස්පරගාලස් අනුපිළිවෙළින් ඔකිඩේසියේ කුළයට අයත් වන ඕකිඩ් පැලෑටිය උප කුල පහකට බෙදී යයි. Cypripediodeae, Vanilloideae, Orchidoideae, Epidendroideae, සහ Apostasiodeae යන මෙම උප කුල නැවතත් කුඩා ගෝත්‍ර 16 කට බෙදේ. මේ 16 ට අයත් මල් විශේෂ 30000 කට ආසන්න වේ.
ඔකිඩේසියේ කුළයේ සංයුතිය පිලිබඳ සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීමක් අමෙරිකානු ඔකිඩ් සංගමය විසින් ප්‍රසිද්ධ කර ඇත. ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම් ලින්ක් එකක් පහත දැක්වේ.
සාමාන්ය උඩවැඩියා මල ප්‍රජනක තීරුව වූ මාලයෙන් විහිදෙන පෙති තුනක් සහ මනි පත්‍ර තුනකින් සමන්විත වේ. පරාගණ අඩවියට කෘමීන් පොළඹවා ගෙන්වා ගැනිම ගැනීම සඳහා විසිතුරු සහිතව labellum හෝ තොල් ලෙස හඳුන්වන පෙති සැදි තිබෙි. විශේෂයෙන් ම, උඩවැඩියා මලෙහි නල හැඩැති මන්දිරය තුළ කාන්තා හා පිරිමි යන ලිංගික අවයව දෙකම ඒකාබද්ධ ව පවතී.
ඕකිඩ් මල් මිනිස් මුහුණක් වගේ එක් පැත්තක පෙනුම, අනෙක් පැත්තෙ කැඩපත් පිළිබිඹුවක් නැත්නම් ද්විපාර්ශ්වික සමමිතික පෙනුමකින් යුක්තයි. ජනතාව මෙම , සමමිතික සුන්දරත්වය අගය කරති.
සාර්ථක උඩවැඩියා වගාවකට අනුගමනය කළ යුතු පිළිවෙත්
සාර්ථක උඩවැඩියා වගාවක් පවත්වා ගැනීමට අවධානය යොමු කළ යුතු කරුණු රාශියකි. වගා බිම තෝරා ගැනීම, වගා කිරීමට කැමති ඔකිඩ් වර්ගය හෝ වර්ග තෝරා ගැනීම, සෙවන නිවසක් තැනීම, වගා මේස ඉදි කිරීම, වගා බඳුන් තෝරා ගැනීම, වගා මාධ්‍ය සකසා ගැනීම, පැළ සොයා ගැනීම, බඳුන් ගත කිරීම, ජලය සැපයීම, පොහොර දැමීම, රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සහ පැළ වල ගුණාත්මක තත්වය රැක ගැනීම. ආදී කරුණු වගාවේ දී අවධානයට ලක් කල යුතුය.
දේශගුණික තත්ත්වය
වගාව සඳහා තෝරා ගන්නා ශාක වර්ගය අනුව සුදුසු වන දේශගුණික තත්ත්වය ලබා දීම ඉතාවැදගත් ය. අප රටේ මේ සඳහා හඳුනාගත් යෝග්‍යතම ප්‍රදේශ ලෙස පහතරට තෙත් කලාපය, මධ්‍ය කඳුකරප්‍රදේශ, අතරමැදි කලාපීය ප්‍රදේශ නම් කළ හැකි ය. කෙසේ වෙතත් අවශ්‍ය පරිසර තත්වය සැකසීමෙන් රටේ ඕනෑම තැනක ඔකිඩ් වගා කිරීමට පුළුවන.
උෂ්ණත්වය
උෂ්ණත්වය
ශාකයේ වර්ගය අනුව වෙනස් වන උෂ්ණත්ව තත්ත්වයන් පවතී. දහවල මෙන්ම රාත්‍රී උෂ්ණත්වයද ශාක වර්ධනය කෙරෙහි බලපාන බව අමතක නොකල යුතුය. වර්ධනය කෙරෙහි පමණක් නොව මල් හට ගැනීමට ද උෂ්ණත්වය බලපානු ලැබේ.
ආර්ද්‍රතාව
ආර්ද්‍රතාව හෙවත් වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය ශාකයේ වර්ධනය, මල් හට ගැනීම, හට ගන්නා මල් කිනිති ප්‍රමාණය, මල්වල වර්ණය ආදී සියලු ම දේ කෙරෙහි බලපාන සාධකයකි. පැළ ගෘහ තුළ පායන කාලවලට කෘත්‍රිම ලෙස ජලය විසිරවීමෙන් මේ ජල වාෂ්ප ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමට මතක තබා ගත යුතුය.
ආලෝකය
ඔකිඩ් ශාකය උදා හිරු එලිය ප්‍රිය කරයි. එබැවින් පැලවලට සෘජුව ම උදෑසන හිරුඑළිය ලැබෙන සේ සෙවන නිවස ස්ථාන ගත කල යුතුය. මෙම පැළෑටියට අවශ්‍ය ආලෝකය ඔකිඩ් විශේෂය අනුව වෙනස්වේ. ආලෝකය ප්‍රභාසංස්ලේෂණය සඳහා උදව් වේ.. නමුත් තද හිරු එළිය පැල විනාශ වීමට හේතු විය හැක, ඉතා සුළු ආලෝකය මල් පිපීමට ඉඩ නොදෙනු ඇත.
උඩවැඩියා මල් වගාව සඳහා සෙවන නිවසක්
සෙවණ ගෘහ ඉදිකිරීමේදී ඒවා නියමිත ආකාරයට ඉදි කර ගැනීම අවශ්‍යය. ගිම්හාන මාස කිහිපය තුළ පූර්ණ හිරුරැස් ලැබෙන ලෙස උතුරු දකුණු දිසාවන් ට මුහුණලා සෙවන නිවස ඉදි කිරීම යෝග්‍ය ය.
පොලව මට්‌ටමේ සිට අඩි 10-12ක උසකින් දැල සකස් කර ගත යුතුවේ. දැල රැන්දවීම පිණිස රාමුව ඉදිකිරීම සඳහා ජී අයි බට, බොක්ස් බාර් , කොන්ක්‍රීට් කණු යොදා ගැනීම සුදුසුය. එමගින් වියදම අඩු වෙනවා මෙන්ම කල් පැවැත්ම වැඩිවේ. මුලික වියදම ඉතා අඩු කර ගැනීම සඳහා ගෙවත්තෙන් සොයාගත් ලී දඬු යොදා ගතහැකි මුත් දිගු කාලීන සැලැස්මක් ඇතිව වගාව පටන් ගන්නේ නම් ලී දඬු යෝග්‍ය නොවේ. පැළ ගෘහ තුළ තබා ගැනීම සඳහා මේස සකස් කළ යුතු ය පොළොව මට්‌ටමේ සිට අඩි 2 1/2ක පමණඋසකින් පැළ රඳවා ගැනීම වඩාත් ම පහසු ය. පැළ රඳවන විට වැඩි ජලය බැස යන ලෙසත්, මුල්වලට වාතාශ්‍රය ලැබෙන ලෙසත් ඒවා තැන්පත් කිරීම අවශ්‍ය ය. මේ කරුණු ගැන නිසි ලෙස සැලකිලිමත් නො වීම නිසා වගාවට හානි සිදු විය හැකිය. ශාක වල බඳුනෙන් පිටතට එන මුල් එල්ලා වැටෙන ආකාරයට රැන්දවිය යුතුය. සෙවන නිවස සැම පැත්තෙන්ම දැලින් වට කිරීම සාමාන්‍ය ක්‍රමය වේ. නමුත් විශාල තවානකදී නම් තත්වය මීට වෙනස් විය හැක. ඉහල දැල ඇතිරීමේදී දැල් දෙකක අතර අඩියක හෝ අඟල් 8 ක පමණ ඉඩක් තැබීම යෝග්‍යය.
නිර්දේශිත සෙවන රෙදි ඝනත්වය
සෙවන රෙදි හේතු දෙකක් නිසා භාවිතා වේ. පළමුව ඒවා වගාව දැඩි හිරු එළියෙන් එනම් අධික තාපය විකිරණය හා පීඩනයෙන් ආරක්ෂා කරයි. දෙවනුව සෙවන රෙදි උණුසුම් ගිම්හාන කාලයේ හරිතාගාර සිසිල් ව තබා ගැනීමට උදව් වෙි.
සෙවන රෙදි 50% ක්, 60% ක්, හෝ 70% ක් යනාදී ප්‍රමාන වලින් ලබා ගත හැකිය. ඇලුමිනෙට් වෙළඳ නාමයෙන් එන සෙවන රෙදි ප්‍රමාණ කිහිපයක් පහත දක්වා ඇත.
අඟල් 4/3 බොක්ස් බාර් 23ක් හෝ 25 ක් භාවිතා කර සෙවන නිවසක් සදා ගැනීමට රාමුව තනා ගන්නා අයුරු පහත රුපයේ දැක්වේ.
උඩවැඩියා බඳුන්
උඩවැඩියා වගාවට යොදා ගනු ලබන විශේෂිත බඳුන්අතරබහුලව භාවිත කරන්නේ මැටි බඳුන් ය. . පැතිවල සහපතුලේ සිදුරු සහිත උඩවැඩියා වගාවට යොදා ගන්නා බඳුන් වෙළෙඳපොළේ තිබේ. ලී පටිවලින් සැකසූ බඳුන් ද මිල දී ගත හැකිය.
ඕකිඩ් රෝපණය කළ හැකි බඳුන් වර්ග
පිගන් මැටි බඳුන්.
සිදුරු සහිත මැටි බඳුන්
ප්ලාස්ටික් බඳුන්
සිමෙන්ති බඳුන්
ලී වලින් තැනු බඳුන්
පර්ණාංග කැබැලි
සිමෙන්ති තැවරූ සෘජිෆෝම් කැබැලි
උඩවැඩියා බඳුන් මාධ්‍යය
උඩවැඩියා වගාව සඳහා යොදන මාධ්‍ය නිවැරැදිව තොර ගැනීම වාණිජ වගාවකදී ඉතා වැදගත්ය. නිවැරදි මාධ්‍යය භාවිතයෙන් හා නිසි පෝෂණයත්, අවශ්‍ය පරිසර සාධකත් ලබා දීමෙන් ගුණාත්මක ඔකිඩ් පැළයක් වවා වෙළඳපොළට ඉදිරිපත් කල හැකිය. බඳුන්වලට යොදන මාධ්‍යය ද උඩවැඩියා සඳහා ම විශේෂිතය. නිවර්තන කලාපයෙන් පිටත රටවල් තම රටවල පවත්නා සම්පත් අනුව භාවිතා කරන මාධ්‍යය පහත විස්තර වේ.
උසස් තත්ත්වයේ උඩවැඩියාබඳුන් මාධ්‍ය
රුක්මීවන: රුක්මීවන තන්තු ජනප්‍රිය උඩවැඩියා බදුන් මාධ්‍යයකි. .එය දිරායාමට ඔරොත්තු දෙන අතර, මිශ්‍රණයේ වාතනය රැක ගැනීමට උපකාරී වේ .රුක්මීවන තෙතමනය හොඳින්රැකගනී .රුක්මීවන තන්තු ඔකිඩ් පැලෑටියට ඇතැම් සුළු පෝශ්‍ය පදාර්ථ ලබා දෙයි. ඔකිඩ් බඳුන් වල මතුපිට අතුරනයක් ලෙස භාවිතා කරන විට ඇල්ගී පාලනයට උපකාරී වේ.
ලාවාගල් හෙවත් ලාවා පාෂාණ අකාබනික බඳුන් මාධ්‍යයක් සඳහා විශිෂ්ට පදනම වේ. බොහෝ විට හවායි සිට එන Dendrobium වල කළු හෝ රතු ගිනි කඳු ලාවා පාෂාණ ඇති බව දක්නට ලැබෙනු ඇත. මෙම ලාවා පාෂාණ විශිෂ්ට වාතනයක්සමග හොඳ ජල වහනයක්රඳවා ගනී
සැහැල්ලු පිළිස්සූ මැටි බෝල Aliflor උඩවැඩියාබඳුන් මාධ්යය සංකලනයේ විවෘත භාවය වැඩි කරයි. මැටි බෝල උඩවැඩියා මුල්සඳහා හොඳ සහායක්වේ. මැටි බෝල මධ්‍යස්ථ පී.එච්අගයක් ඇති අතරඉතා දිගුකල් පවතී. එය තෙතමනය වැඩි පරිසරයක්ඇති විට ඉතා යෝග්‍යය.
ස්පැග්නම් පාසි Sphagnum පාසි පමණක් තනිව භාවිතා කල හැකි අතර වෙනත් මාධ්‍ය සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමටද පුළුවන .ශාක පාදම වටා ආර්ද්‍රතාවය වැඩි කිරීමට ඵලදායී මතුපිට අතුරනයක් ලෙස ද යොදා ගත හැක.
රොක්වූල් Rockwooll බැසෝල්ට් පාෂාණ සහ හුණු ද්‍රවාන්කයට රත් කර නුල් වැනි තන්තු බවට පත් කර පාෂාණ වල මුල් ප්‍රමාණයට වඩා 37 ගුණයක් මෘදු කිරීමෙන් රොක්වූල් නිපදවේ.
දේශීය උඩවැඩියා බඳුන්මාධ්‍ය
ඕකිඩ් සිටුවීම සඳහා ද නියමිත වු ක‍්‍රමයක් හා පැළය රැක බලා ගත යුතු ආකාරයක් ද වේ. රෝපණ මාධ්‍ය ශාකයකට ආරක්‍ෂාව, මුල් ශක්තිමත්ව තබා ගැනීම මෙන්ම ශාකයට අවශ්‍ය පෝෂක ගබඩා කර ශාකයට ලබා දීම ආදී වැදගත් කාර්යයන් කිහිපයක් ම ඉටු කරයි.. මෙම රෝපණ මාධ්‍ය විශාල කැබැලි හා කුඩා කැබැලි ලෙස ශ්‍රේණි දෙකකට වර්ග කරයි. ඩෙන්ඩ්රෝබියම් සඳහා අඟලක ඝනකම සහිත කැබලි විශාල ශ්‍රේණියටත්, අඟල් 1/2 - 3/4 දක්වා ඝනකම කැබැලි කුඩා ශ්‍රේණියටත් අයත් වේ. වැන්ඩා සඳහා ප‍්‍රමාණයෙන් විශාල කැබැලි භාවිතා කරන අතර විශාල ශ්‍රේණියට අඟල් 2 ඝනකම කැබැලි හා කුඩා ශ්‍රේණියට අඟලක ඝනකම කැබැලි භාවිතා කරයි.
දේශීය බඳුන්මාධ්‍යය
අඟුරු පමණක්
චිප් කැට, කුඩා උළු කැට සහ කොහු බත්
අඟුරු සමග උළු කැබැලි හා ගඩොල්කැබැලි
පොල්ලෙලි කැබැලි පමණක්
අඟුරු සමග පොල්ලෙලි කැබැලි
මේ වගා මාධ්‍යයෙන් පැළවලට පෝෂණය සැපයීමක් සිදු නොවේ . පෝෂණය ලබා දිය යුත්තේ පොහොර භාවිතයෙනි.
පැළයක්බඳුන්ගත කිරිම
ඉහත දැක්වූ ඕකිඩ් රෝපණ මාධ්‍ය තනිව හෝ මිශ්‍රව යොදා ගත හැක. බොහෝ වගාකරුවන් උළු කැට, ගල් කැට, අඟුරු කැට, 1 : 1 : 1 අනුපාතයට මිශ‍්‍ර කිරීමෙන් සකසාගනී. මිශ්‍රණය සෝදා වේලා ගැනීමෙන් බාහිර පරිසරයෙන් එන රෝග වලකා ගැනීමට උපකාරී වේ. මුලින්ම බඳුන් සෝදා පිරිසුදු කොට බඳුනේ ජලවහන සිදුරු මත උලුකැට කැබලි අසුරා පතුලේ සිට 1/3 ක් පමණ වනතෙක් මාධ්‍ය මිශ‍්‍රණයෙන් පුරවා ගන්න.
ග්රැනයිට් චිප් මිශ්‍රණය යොදාගන්නා අවස්ථාවේදී උලුකැට කැබලි අසුරා තුනී පොල්කොහු තට්ටුවක් ඇතිරීම සුදුසුය. පැළයක්බඳුන්ගත කිරිමට පෙර පැළයේ පරණ වී ගිය හා හානි වී ඇති කොටස් ඉවත් කළ යුතුය. ඉන්පසු පැළය බඳුනේ සිටුවා ගන්න. මුල් රාශියක වර්ධනයක් පෙන්වන ඩෙන්ඩ්රෝබියම් වැනි ඕකිඩ් වල වර්ධන අග‍්‍රය (මුල) බඳුනේ මධ්‍ය දෙසටයොමුවන සේ බඳුනේ එක් කෙලවරක පැළය සිටුවන්න. ඉන්පසු කුඩා කැබැලි මිශ‍්‍රණය එක් කරන්න. පැළයට ආධාරකයක් හෝ උණ පතුරක් සිටුවා, පැළය එයට තබා ගැට ගසන්න. වැන්ඩා වැනි ඒකපාදී ඕකිඩ් රෝපණයේදී යොදා ගන්නා කඳ කැබැල්ල බඳුන මධ්‍යයේ පැළ කළ යුතුය. 50% - 60% ක සෙවණ මට්ටමක් අලුත සිට වූ පැළ සඳහා ලබා දිය යුතු අතර මුල් දින කිහිපයේ දිනකට දෙවරක් ඉහළින් ජලය වෑස්සීම කළ යුතුයි. ඉන්පසු දිනකට වරක් පැළයේ මුල් වලට ජලය ලබා දීම කළ යුතුයි. නමුත් වියළි කාලගුණයකදී මෙයට අමතරව පත‍්‍ර මතට ජලය වෑස්සීම කළ යුතුය. 14 වන දිනය වන විට පැළයට අවශ්‍ය සූර්යාලෝකය ලබා දෙන්න. ඕකිඩ් ශාකය බඳුන ඉක්මවා වැඩුණු පසු නැවත බඳුන් ගත කළ යුතුය. පළමුව ශාකය ඉතා ප‍්‍රවේශමෙන් බඳුනෙන් ඉවතට ගෙන මැරි ගිය හා හානි වූ ශාක කොටස් ඉවත් කරන්න. ව්‍යාජ බල්බ 3 - 4 ක් ප‍්‍රධාන ශාකයේ ඉතිරි වන සේ අනෙක්වා වෙන් කර ගන්න. සෑම කැපුමකම දිලීර නාශක ආලේප කර මුලින් භාවිතා කළ ප‍්‍රමාණයේ බඳුන් වලම රෝපණය කරන්න.
කුඩා පැළ බඳුන්ගත කිරිම
සාමුහික බඳුනක (compot) අඟල් දෙක තුනක් උස්වූ පැළ පමණක් තනි බඳුන්වලට මාරු කළයුතුය. . මෙසේ සිටුවනවිට මැරීගිය පත්‍ර කැබැලි ආදිය ඉවත් කර තනුක කැප්ටාන් ද්‍රාවණයක විනාඩි 5 ක් ගිල්වා තබා සිටුවා ගැනීම යෝග්‍ය ය. ඉන්පසු බඳුනේ අඟල. 1/2 -3/4 පමණ වූ අඟුරුකැබැලි කීපයක් තබා බඳුන තුළ පැළය සිරස්‌ව රඳවා ගනු ලබයි. අඟල් 6ක් පමණ උස්වූ විට පැළ මද්‍යප්‍රමාණයේ බඳුනකට මාරු කළ යුතුය.
උඩවැඩියා වගාවක ආරම්භය හොඳ පැළවලින් සිදු කළ යුතු ය. වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ඇති සාමූහික (කොම්පොට් එකක ) බඳුනක පැළ 25-30 හෝ 50-60 පමණ පවතී. විශ්වාසී ස්‌ථානයකින් පැළ ලබා ගැනීම ඉතා වැදගත් ය. ලාභයට ලබා දෙන පැළවලින් ගැටලුමතු විය හැකිය. මූලික වශයෙන් යොදන අධික වියදමෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නම් මනා වර්ධනයකින් යුතු නිරෝගී, වැඩි ආදායමක් ලැබෙන, පරිසරයට ගැළපෙන වර්ග තෝරා ගත යුතුය.
සාමාන්‍යයෙන් අඟල් 2-3 අතර උසකට වැඩුණු පැළ තනි බඳුනක වගා කිරීම සුදුසු ය. මුල් දින කීපයේදී දිනකට දෙවරක් ද පසුව වරක් බැගින් ද ජලය යෙදීම සෑහේ. සති දෙකක් ගත වූ පසු මේ ඕකිඩ් බඳුන නියමිත හිරු එළියේ තැබිය හැකියි. ඕකිඩ් සඳහා ජලය යෙදීම හිතුමතේට කරන්නට එපා. ශාකයේ වර්ධනයටත් නිරෝගි මල් හටගැනීමටත් පොහොර යෙදීමේ නිවැරැදි ක්‍රම අනුගමනය කිරීම අනිවාර්යයි.
No comments:
Post a Comment